
පොලිස්පතිවරයාගේ ආන්දෝලනාත්මක දුරකතන ඇමතුම් කතාව යන්තමින් හමාරවූවා පමණි. දැන් නැවතත් රට උණුසුම් වී තිබේ. ඒ නාවික හමුදාපතිවරයා හා මාධ්‍යවේදියකු අතර ඇතිවූ අතපය විසී කිරීමේ සංගදිය නිසාවෙනි. සියල්ලෝම දැන් සිටගෙන සිටින්නේ නාවික හමුදාපතිවරයාට එරෙහි වේදිකාවේය. ආණ්ඩුව සමඟ ඇති නොහොඳ නෝක්කාඩුවද නාවික හමුදාපතිවරයාගේ ගලේ තබා අඹරන්නට සියල්ලෝම කැමැත්තෙන් වෙසෙති. සිදුවීමේදී නාවික හමුදා පාර්ශවය විත්ති කූඩුවට නංවා කියන්නට ඇති සියල්ලල පාහේ පසුගිය සතිය පුරා ඔබට මාධ්‍යයෙන් අසන්නට ලැබුණා විය යුතුය. එම කතාවේ ඔබ නොකියවූ කතාව අපි ඔබට කියන්නට බලාපොරොත්තු වන්නෙමු. අවසානයේ තීන්දුව මහජන ජූරියට භාර කරන්නෙමු.
කතාවට ආරම්භයන් දෙකක් තිබේ. එකක් නම් හම්බන්තොට වරායේ ආරම්භයයි. දෙවැන්න නම් රවීන්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්නගේ ආරම්භයයි. හම්බන්තොට වරාය යනු අප රටට අමතකව ගිය වැදගත්ම ආර්ථික මර්මස්ථානයකි. ඒ ගැන තවදුරටත් තර්ක අවශ්‍ය නැත. කුමක්දෝ හේතුවකට එය, එම ස්ථානයේ ඉදි කිරීමට විශාල කාලයක් බලා සිටින්නට ජාතියක් ලෙස අපිට සිදුවිය. අවසානයේ පැවති රජය සමයේ හම්බන්තොට වරාය ඉදිවන්නේ දයාසිරි ජයසේකර එකල මන්ත්‍රීතුමන් වරායේ දැවැන්ත ගල් දකිනා අල්ලපනල්ලේය. රටේ බොහෝ ප්‍රදේශ වෙලාගෙන සිටි හා හිටපු ජනාධිපතිවරයාට පැරදී යන්නට තරම් ජනතාවට අප්‍රසන්න වූ නිල් බලකාය හොඳින් අතුපතර විහිදා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේය.
හම්බන්තොට වරායත්, මත්තල ගුවන් තොටුපොළක් ඉදිවන්නේ මෙකී බලකායේ දර දිය ඇද්දවුන්ට මාසේ වැටුපක් සහිතව රැකියාවක් ලියා දෙන්නටය. ඒ අනුව ඔවුන් පිළිගත්තද නැතිද එවකට රජය විසින් බෙදා දුන් රැකියා සියල්ලේම පාහේ නිල් බලකාය ගෑවී තිබේ. නිල් බලකාය යනු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඡන්ද පදනමයි. තවත් සරළව කියන්නේ නම් මේ කියනා වරායේත්, ඒ අවට ඇති මෙන්ම රට පුරාම ඇති රාජපක්ෂ රැකියා පදනමේ සාතිශය බහුතරය නාමල් රාජපක්ෂගේ නමට වැටෙනා මනාපයි. කැලයක් මැද මත්තල හැදුවා යැයි බැණ වදින්නෝ පවා හම්බන්තොට වරායට කිසිත් නොකීවේ සැබැවින්ම එය ජාතික වශයෙන් අතිශයින් වැදගත් බව ඔවුන් දන්නා නිසාවෙනි. කුමක්දෝ හේතුවකට පසු කාලීනව හම්බන්තොට වරාය පෝෂණය කරන්නෙත් කොළඹ වරායෙනි. හම්බන්තොට වරාය හදන්න ගත්ත විශාල ණය ගෙවන්නේ කොළඹ වරායෙන් හම්බ කරන සල්ලි වලින්, යැයි ඇසෙද්දී එය ඇදහීමට පවා පහසු වූයේ නැත. රටක් ගොඩ බිමක් නොපෙනෙනා ඇන්ටාක්ටිකාව දක්වා විහිදෙන සාගර තලයක මුණගැසෙනා මුල්ම ගොඩබිම වන්නේ ඔය කියනා හම්බන්තොට වෙරළයි. එසේම ඊට නාවික සැතපුම් කිහිපයක් පහළින් ලෝකයේ බටහිර හා නැගෙනහිර යා කරනා මහා මුහුදු ගමන්මගයි. මේ සියල්ල සහිතවල, සැලකියයුතු තරමේ ශක්‍යතාවයක් සහිතව ඉදිවූ හම්බන්තොට වරායට නැව් නොපැමිණේයැයි කීම තරම් විශ්වාස කරන්නට අපහසු හා බොරු කතාවක්ද යන්න බොහෝ අයට සිතෙන්නට ඇත. මන්දයත්, මත්තල මෙන් හම්බන්තොට වී ගබඩා කරන්නට කියන්නට බැරිවූ නිසාවෙනි. කෙසේ හෝ, හම්බන්තොට සිටිනා වෘත්තීමය සුදුසුකම් සහිත ඇත්තන්ට අලගු තබන්නට හෝ නොහැකි තරමින් නිල් බලකාය එහි සිටින වග අපි පිළිගත යුතුය.
දෙවැනි කාරණය ඔබ ඉවසීමෙන් කියවිය යුතු එකකි. එනම්, මුලින් කී පරිදි වර්තමාන නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න මහතාගේ අතීතයයි. සියල්ලෝම වර්තමානය පිළිබඳ බොහෝ දෑ ලියනා කියනා නිසාවෙන් අතීතයද මතක් කළ යුතුයැයි සිතන්නෙමු.
රවී විජේගුණරත්න නාවික හමුදාව හා එක්වන්නේ 1980 වසරේ නොවැම්බරයේ එක් දිනකදීය. ඒ NRX0176 දරන නිලධාරී අංකය යටතේය. එසේ එක් වූ ඔහු ත්‍රිකුණාමලය නාවික භට සාගර විද්‍යා පීඨයෙන් සිය නාවික හමුදා ජීවිතය අරඹන්නේ එම පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යය වෙමිනි. ඒ අනුව ඔහු ඉන් පසු යැවෙන්නේ ලෝකයේ ඉහළම මට්ටමේ ඇති නාවික නිලධාරීන් පුහුණු කිරීමේ පීඨයක් වන බ්‍රිතාන්‍යයේ බ්‍රිටානියා රෝයල් වෙතටය. මෙරට නාවික හමුදා නිලධාරීන් හට අදත් එකී පීඨයේ ගෞරවය හිමිකරදෙන්නට අවස්ථාව සාදමින් එදා රවී විජේගුණරත්න නැවත ලංකාවට එන්නේ අදාළ පීඨය මගින් හොඳම ජාත්‍යන්තර නිලධාරියා පදක්කමද හිමිකරගනිමිනි. 1984දී කොමිෂන් බලතල ලබා සේවයට එක්වන ඔහු ඉන් වසර දෙකක් තුළ එනම් 1986 වසරේ ගිලෙන්නට ගිය ආධුනික නැවියන් තිදෙනෙකු බේරා ගැනීම සඳහා සිය ජීවිතයද නොතකා විශාල දුරක් පිහිනායාම හේතුවෙන් ජීවතුන් අතර සිටිනා හමුදාමය අයෙකුට හිමිවන ඉහළම පදක්කම වන වීරෝධාර විභූෂණ (WV) පදක්කම හිමිකරගත්තේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 24කි. එසේම නාවික සේවයට වයස අවුරුදු 6කි.
මේ කියනා සමයේම ඉන්දීය සාමසාධක හමුදාවෝ මෙරටට පැමිණ සිය මෙහෙයුම් දරුණු ලෙස කොටි නායක ප්‍රභාකරන් අල්ලාගැනීම උදෙසා සිදුකළ සමයකි. නමුදු වරක් ආයුධ හා නාවික බලය අතින් ප්‍රබල ස්ථානයක සිටිනා ඉන්දීය නාවික හමුදාවද අසරණ විය. ඉන්දීය නාවික හමුදාවේ ප්‍රධානතම දක්ෂයින් වන නාවික කොමාන්ඩෝ භටයෝ යාපනය කලපුවේදී කොටින් හමුවේ අන්ත අසරණ වූහ. එහිදී අන් කළහැකි කිසිවක් නොවූ හෙයින් ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපකාර පතන්නේ ලුතිතන් අරවින්ද් සිං සමඟ කොමාන්ඩෝ භටයන් 24ක් මරණය පෙනි පෙනී සටන් වදිමින් සිටිනා බැවිනි.
ශ්‍රී ලංකා නාවික හමුදාව වුවද මේ අසීරු මොහොතට එකවර කඩා පනින්නට තරමක් මැලිවිය. එහෙත් එහිදී ලුතිතන් රවීන්ද්‍ර විජේගුණරත්න ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන්නේ ඒ ඔහුගේ ගතිය බැවිනි. එදා හම්බන්තොටද සිදුවූයේ ඔහුගේ මෙකී ගතිය එළියට ඒමයි. එය පැහැදිලි කරගැනීම ඉදිරියට තබා මේ කියනා පුද්ගලයාගේ ඉතිරිය කියවාගෙන යා යුතුය. කෙසේ හෝ එදා එලෙස ඉන්දීය නාවික කොමාණ්ඩෝ භටයන් අන්ත අසරණව සිටිනා මොහොතේ මහ රාත්‍රියේ යාපනය කලපුවට රිංගා සාර්ථක ප්‍රහාරයක් එල්ලකර ඉන්දීය භට පිරිස් මුදාගෙන ඒම හේතුවෙන් ලුතිතන්වරයා රණවික්‍රම පදක්කමෙන් පිදුම් ලැබීය. එදා ලුතිතන් විජේගුණරත්න බේරාගෙන පැමිණි ඉන්දීය නාවික ලුතිතන් අරවින්ද් සිං හට ඉන්දියාවට ගිය පසු එරට නාවික නිලධාරියකු හට සිය නිල ඇඳුමේ එල්ලාගත හැකි ඉහළම පදක්කම වන මහා වීර චක්‍ර පදක්කම පිරි නැමුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දීය කොමාණ්ඩෝ නාවික භටයන් මෙන් විශේෂ බලඝණයක් නිර්මාණය කරන්නට දිගින් දිගටම අවසර ඉල්ලා සිටි මොහුට ඒ සඳහා නාවික හමුදාවෙන් අවසර ලැබෙන්නේ 1993 වසරේදීය. එවකට නිලයෙන් ලුතිතන් කමාණ්ඩර්වරයකු වූ රවීන්ද්‍ර විජේගුණරත්න හට දැනට නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය හෙවත් SBS ලෙස හඳුන්වන බලඝණය නිර්මාණය කරන්නට අවසර ලැබුණි. එසේ විශේෂ බලඝණයක් සාදා එහි ප්‍රථම අණදෙන නිලධාරියා වූ රවීන්ද්‍ර විජේගුණරත්න හට තමන්ගේ කණ්ඩායමේ වැඩ පෙන්නවන්නට මහ ලොකු කාලයක් සිටින්නට වූයේ නැත. 1993 වසරේම නොවැම්බර් 08 වැනිදා පුනරීන් යුද හමුදා කඳවුර හතර දෙසින් කොටි ත්‍රස්තයින් විසින් වටකොට සිටියදී ඒ වෙතට මුහුදු සැපයුම් මාර්ගයක් සාදා දෙවැනි කොමාන්ඩෝ භට පිරිස් ඒ වෙතට යවන්නට හැකිවූයේ රවීගේ විශේෂ යාත්‍රා බලඝණය හේතුවෙනි. මෙකී කාරණය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ අතිශය දුර්ළභ සිදුවීමක් සිදුවිය. එනම්, ලුතිතන් කමාන්ඩර් රවී විජේගුණරත්න හට වරක් පිරිනමා තිබූ රණවික්‍රම පදක්කම නැවත් පිරි නැමීමයි. ඒ මෙකී මෙහෙයුමේදී සිදුකළ අප්‍රතිහත කැපකිරීම නිසාවෙනි. රවී විජේගුණරත්නගේ තවත් සුවිශේෂී කාරණය වූයේ ඔහු මහ මුහුදේ කුඩාම බෝට්ටුවේ සිට විශාල නෞකා දක්වා සෑම පරාසයකම යාත්‍රාවලට අණ දී ඇති අත්දැකීම් බහුල නිලධාරියකු වීමයි. 1995 වසරේ පේදුරුතුඩුවේදී කොටි බෝට්ටු රැලක් හමුවේ ඩෝරා යාත්‍රාවකින් ගොස් සටන් වැඩ බෝට්ටු රැලම විනාශ කිරීම නිසා ඔහුට රණශූර පදක්කම හිමිවිය. වර්තමානයේ රියර් අද්මිරාල්වරයකු වන රවීන්ද්‍ර විජේගුණරත්න නාවික හා සාගරික විද්‍යා පීඨයේ ආඥාපතිල නාවික දියත් විධානයේ අණදෙන නිලධාරී, නාවික අධ්‍යක්ෂක ජනරාල්, දකුණු නාවික ආඥාපති, උතුරු නාවික ආඥාපති නැගෙනහිර නාවික ආඥාපති, නාවික අධ්‍යක්ෂක (මෙහෙයුම්), නාවික අධ්‍යක්ෂක (විශේෂ බලකා), සමුද්‍රීය විමර්ශන අධ්‍යක්ෂක තනතුරු හරහා සිව්වන ඊළාම් යුද්ධයේ නපුරු අවසානයට දැවැන්ත මෙහෙයුම් දායකත්වයක් ලබාදුන්නේය. එසේම යුධ ජයග්‍රහණයට පසුව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙසද කටයුතු කර ඉන් පසු නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරටද පසුව නාවික හමුදාපතිවරයා ලෙසටද පත් විය.
දැන් ප්‍රධාන කතාවට බැසිය යුතුය. හම්බන්තොට වරායේ තිබූ පළමු වැඩ වර්ජනය මෙයයි. රටේ දැනට ප්‍රධාන වරාය ලෙස සැලකෙන කොළඹ වරායේ මාස කිහිපයකට වරක් උද්ඝෝෂණ සංවිධානය වේ. වැඩ වැරුම් සිදුවේ. එහෙත් මෙතෙක් කල කිසිදාක අපි එකී වරායේ නැව් සිරකරගෙන සිටි අවස්ථා අසා නැත. සැබැවින්ම සිදුවීද නැත.
හම්බන්තොට ප්‍රදේශීය මාධ්‍යවේදි මහතාට පහර දීමේ කතාවට ප්‍රථම ලිහාගත යුතු කාරණා කිහිපය මෙසේ පැටලුම් ඇරගත යුතුය. කොළඹ වරායේ සිටින අත්දැකීම් බහුල හා සුදුසුකම් ඇති පිරිස් තමන්ගේ වැඩ කොතරම් වැරුවද ඒ වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවල් හා පාර්ශව අවුස්සාගන්නේ නැත. මන්දයත්, වැඩවර්ජනය අවසානයේ රස්සාව කරන්නට තමන්ට වරායක් ඉතිරිව තිබිය යුතු නිසාවෙනි. නමුදු මෙහි තත්ත්වය ඊට වෙනස් බව යමකුට සිතිය හැක. මෙය මෙරට ජනතාවගේ ජාතික දේපොළක් පිට රැටියකුට ලබාදීමේ ගැටලුවකි. එනම්, මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ ජනතාව සතුවූ හම්බන්තොට වරාය දැන් අයිති චීනයටය. එහි අනෙක් අරුත නම් දැන් චීන්නුන්ට මෙම වරායේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වැඩක් නැත යන්නයි. නමුදු, වර්තමාන රජයට හම්බන්තොට ජනතාව අවතක්සේරු කිරීමේ අදහසක් නොතිබුණේ නම් පැවරුම් ගිවිසුමට සේවකයින්ද ඇතුළු කරන්නට හැකියාව තිබුණි. එහෙත්, දේශපාලනය නම් දේශපාලනයයි. අවම තරමේ, වරාය විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංගම කියනා පරිදි ඔහු හා වරාය අමාත්‍යාංශය පිළියෙල කළ ගිවිසුම නොව, රජය චීනය හා අත්සන් කර ඇත්තේ වෙනමම ගිවිසුමකි. කෙසේ හෝ වත්මන් රජයේ සමහර ප්‍රධානීන්ගේ කෝපයට ලක්ව ඇති ජනමාධ්‍ය වර්තමාන රජය බිහිකරනු පිණිස එවකට විපක්ෂයේ සිටි සමහරුන් දෙසා බෑ බේගල්වලට අත්තටු දුන්නේද මෙකී මාධ්‍යම බව අමතකව තිබේ. එක් අතකට මාධ්‍යටත් මේවා හොඳ පාඩම්ය. කෙසේ හෝ හම්බන්තොට අයටත්, මාධ්‍යවල අයටත් රිදෙන්නට යමක් කිරීමට ගත් උත්සාහය සාර්ථකව තිබෙන බව පෙනේ. අවාසනාවට ඊට බෙල්ල දුන්නේ නාවික හමුදපතිවරයාය. එහිදී අවාසනාවට යන්න භාවිතා කිරීම ලිපියේ මුලින් සඳහන් කළ අතීත උක්තයන් ගැලපීම මත පමණක්ම සිදුවූවකි. ලියුම්කරු මේ ලියනාතෙක් නාවික හමුදාපතිවරයා හැබැහින් මුණගැසී හෝ නැතිවග සඳහන් කළ යුතුය.
කාරණාවේ දරුණු කොටස් කිහිපයක්ද ජනතාවගේ දැනගැනීම පිණිස සඳහන් කළ යුතුය. එනම්, එදින හම්බන්තොට වරායේ සිරකරගෙන තිබූ එක් නැවක් නම් ලෝකයේ වාහන ප්‍රවාහනය කරනා විශාලතම නැව් තුනෙන් එකකි. පිලිපීන සේවකයන් 25ක් හා බල්ගේරියන් කපිතාන්වරයකු සිටි එම නැවේ ඩොලර් බිලියන ගණනක භාණ්ඩ විය. අෙමරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරයට පසු ලෝකයේම සැකය යොමු වූයේ මීළඟ ප්‍රහාරය මුහුදෙන් සිදුවිය හැකි බවටය.
එබැවින් ලෝකයේ රටවල් 130ක් එකව ISPC නමින් එකතුවක් සාදාගත්තේ එවැන්නක් සිදු නොවනු පිණිසය. එහිදී එකතුවේ සිටින සාමාජිකයන්ගේ නැව් ආරක්ෂා කිරීමත්, එම නැව් නියමිත් ගමන් වාරයේ නියමිත මොහොතේ ගමන් කිරීමට කටයුතු යෙදීමත් අදාළ ඒ ඒ රටවල නාවික හමුදාවලට භාරවිය. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝනජය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අදාළ කාරණය භාර විය. අදාළ එකතුවේ සෑම රටකම නිසි බලධාරියා වන්නේ නිලබලයෙන්ම නාවික හමුදපතිවරයාය. මීට අමතරව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සමුද්‍ර සංවිධානය විසින් මාස තුනකට වරක් නිරීක්ෂණය කෙරේ. ඔවුන් පැමිණ මෙරට අදාළ ගත වූ මාස තුනේ සිදුවූ සියලු කාරණා පිළිබඳ විශ්ලේෂණය කර රටේ නාවික තත්ත්වය පිළිබඳ ලෝකයේ අනෙක් රටවලට දැනුම් දීම සිදුවේ. එම වාර්තාව අනුව ලොව අනෙක් රටවල් අප රටට නැව් එවනවාද නැද්ද, අප රට සමඟ නාවික කටයුතු කරනවාද නැද්ද යන්න තීරණය කරනු ලබයි. එබැවින් මෙකී වාර්තාව කොතරම් වැදගත්ද යන්න බුද්ධිමත් පාඨක ඔබට වැටහෙනවා විය යුතුය.
නැවක් රටේ වරායෙන් නීතිමය වශයෙන් නිදහස් කොට තිබියදී එම නැව යම් තෙවැනි පාර්ශවයක් විසින් බලහත්කාරයෙන් රඳවා සිටින්නේ නම් එය සැලකෙන්නේ මුහුදු මංකොල්ලයක් ලෙසිනි. මෙහිදී හම්බන්තොට වරායේ නාවික හමුදා අනුඛණ්ඩ රඳවා ඇති ප්‍රදේශ වසා, අවහිර කොට, නැවට ඉවත් වන්නට බැරිවන ලෙස ඒ මතට දොඹකර දෙකක් පහත්කොට, එසේම, නැව වරායේ ගැටගසා තබනා කොන්ක්‍රීට් කණු මතට බැකෝ යන්ත්‍ර සිර කොට එසේම නැවේ අවර පෙතිවල ලණු ගැට ගසා ඉතාම දරුණු හැඟීමක් නෞකාවේ පිරිසට දැනෙනා පරිද්දෙන් නැව සිර කරගෙන තිබුණි. වෙනකක් තබා නැවේ බල්ගේරියානු කපිතාන්වරයා නැව හා වරාය සම්බන්ධ කරනා පාලම පවා ඉවත්කරගන්නේ වරායේ පිරිසක් නැවට කඩා පනිනු ඇතැයි සිතාය. ඔහු මේ සියල්ලම සිය මව් රටට හා ජාත්‍යන්තර නාවික සංඛ්‍යාතයට මුදා හැර තිබෙන්නේ තමන්ගේ ආරක්ෂාවට හා මෙම වරායට පැමිණෙන්නට නියමිත නැව්වලට පැමිණෙන්නට එපායැයි කියමිනි. තත්ත්වය අතිශය දරුණු තැනකට යන්නේ මෙලෙස ඔවුන් දින හතරක් පුරා සිරකගෙන සිටීමත් සමඟය. හම්බන්තොට වරාය චීනයට විකිණූ පසු එය ගොඩ නැගීම ඔවුන්ගේ වගකීමක් බව සළකා අපට පසෙකට වෙන්නට හැකිනම් ගැටලුවක් නැත. එහෙත් ලෝකයේ රටවල් හා ජනතාව දන්නේ හම්බන්තොට යනු ශ්‍රී ලංකාවේ වරායක් බව මිස එය චීනයට අයත් එකක්යැයි කියා නොවේ. ශ්‍රී ලංකාවේ වරායන්වල මෙවන් ප්‍රතිචාර ඇතිවිය හැකි බව ලෝකයා දැනගත් පසු එහි බලපෑම කොළඹ වරාය දක්වාද පැමිණිය නොහැකියැයි කියන්නට කිසිවකුට නොහැක.
ආරක්ෂක ලේකම්වරයා හා නාවික හමුදාපතිද ඇතුළු බලවතුන් මෙකී කාරණය පිළිබද මෙම සිදුවීමට පෙර දිනයේ සාකච්ඡා කොට තිබුණි. ඒ අනුව නාවික හමුදා මූලස්ථානයේදී සියල්ලෝම එක්ව පසුදින ක්‍රියාත්මක කිරීමට නියමිත මෙහෙයුම් සැලැසුම් කළහ. එලෙස ක්‍රියාත්මක වූ මෙහෙයුම අතරේ නාවික හමුදාවේ ක්‍රියාන්විතය පටිගත කළේය හා එසේ නොකරන්නැයි දුන් පෙර අවවාදය අදාළ ප්‍රදේශීය මාධ්‍යවේදියා නොපිළිගත්තේය යන්න නාවික හමුදා පාර්ශවයේ පිළිතුර විය. යම් හමුදාවක් සිදුකරන මෙහෙයුමක් පූර්ණ වශයෙන් පටිගත කිරීම සැබැවින්ම තරමක් මත්භේදාත්මක කාර්යකි. නාවික හමුදාපතිවරයා එම අසුනට එන්නට පෙර යුද සමයේ මාධ්‍යවේදීන් සියගණනක් සමඟ කටයුතු කළ බව කොළඹ කාර්යාලවල සිටිනා ආරක්ෂක මාධ්‍යවේදීන් දන්නා දෙයකි. ඔහු එවැනි කිසිදු අවස්ථාවක මාධ්‍යවේදියකුට අල්ලාගෙන ගහන්නට ගොස් ඇතැයි අසන්නට ලැබී නැත. ඊට හේතුව නම් පාර්ශව දෙකේ පවත්නා අනෙන්‍ය විශ්වාසයයි. කුමක් ලියාගත්තද, කුමක් පටිගත කළද විකාශය හෝ ප්‍රසිද්ධියට පත් කරන්නේ අවශ්‍ය දේ පමණක්ය යන්න දෙපිරිසම දන්නා බැවිනි. මාධ්‍යවේදියාට හෝ වෙනත් ඕනෑම අයකුට පහර දීම තරයේ ප්‍රතික්ෂේප කළයුතුය යන්නට තර්ක නැත. එහෙත්, එය භාවිතා කරමින් නාවික හමුදාව අපකීර්තියට පත්කොට ත්‍රිකුණාමලයද, චයිනා වරායද වෙනත් රට්ටුන්ට ලියාදීමට ඉදිරියේදී එන සැලැස්මවල් වෙනුවෙන් උඩගෙඩි දිය යුතු නැත.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ පරිදි මෙකී කාරණය ඉතාමත් බරපතළ එකකි. එහිදී යම් දුරදිග ගිය තීරණයක් ගන්නට වුවද රටක් හැටියට සිදුවන්නේ මෙකී පිරිස අල්ලාගෙන ඉන්නේ අනුන්ගේ නැවක් නිසාවෙනි. අපිට ඔවුන් රස්සා ඉල්ලන අහිංසකයන් පිරිසක් වුවද ලෝකයට ඔවුන් &සිලෝන් පයිරේට්ස්* හෙවත් ලංකාවේ මුහුදු කොල්ලකාරයන්ය. මුහුදු කොල්ලකාරයන්ගේ රටකට නැව් එන්නේ නැත. අවසානයේ ඩොලර් ලක්ෂයක් දිනකට බැගින් වන්දි ගෙවන්නටත් ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවූ බව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙතරම් මහා සිදුවීම් රුසක් සිදුව තිබියදීත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැමිණිල්ල දැමියයුතු පොලීසිය ගැන මාධ්‍ය ඉදිරියේ කතාවක් කරනු මේ ලිපිය ලියවෙනා මොහොතේ ඇසේ. කවර හේතුවක් නිසාවත් කිසියම් මාධ්‍ය මෙහෙවරක නිරතවන මාධ්‍යවේදියකුට පහරදීම හෝ බාධාකිරීම කිසිවෙකුත් අනුමත නොකරති. රට පුරාම මාධ්‍ය සංවිධාන මේ ගැන උද්ඝෝෂණ කරයි. විපක්ෂයේ සිටියදී තමන්ට හැරමිටියක් වූ මාධ්‍ය මට්ටුකරන්නට මෙන් ආණ්ඩුවේ සමහරැන් මෙම ප්‍රහාරය අගයනු පෙනේ. එහෙත් එම බලවතුන් අද මහේශාක්‍ය ලීලාවෙන් හැඳ සිටින බලයේ පිරැවටය ගැලවුණ දවසට ඔවුන් නැවතත් මාධ්‍ය නිදහස උදෙසා ගාම්භීර ප්‍රකාශ නිකුත් කරන්නට ඉඩ තිබේ. නාවික හමුදාපතිවරයා සිය රාජකාරිය කළ බව ප්‍රකාශිතය. හම්බන්තොට වරායට ගිය මාධ්‍යවේදීන් කළේද තම රාජකාරී මෙහෙවරයි. එය ලඝුකොට තනන්නට යාම යුක්තිසහගත නොවේ. බොහෝ ආණ්ඩු බලයට පත්වී වසර දෙකතුනකින් මේ තත්ත්වයට පත්වෙයි. ඔවුනට අගමුල මතක්වන්නේ බලය නැමති රුස්වළල්ල අහිමිව දේශපාලන මහිමය පිරිහුණ විටය.
♦ ප්‍රසාද් අබේවික්‍රම